Monday, October 18, 2010

නුවණැත්තන් හට මෙලොවේ දකින්ට පුළුවනි සදහම්

බුදු රජාණන් වහන්සේ ලෝකයට පහළ වීම නිසා අපට අපේ ජීවිතවල සැගවිච්ච ගුණධර්ම,
ප්‍රකට නො වුන ගුණධර්ම, ප්‍රකට කර ගන්න, මතුකර ගන්න අවස්ථාව තියෙනවා.
මනුෂ්‍යයන් අතර අපි ඉපදෙද්දී මනුෂ්‍යයන් හැටියට උපදවා ගන්න පුලුවන් විශේෂ ගුණ
උපදවා ගැනීමේ වාසනාව ඇතුව තමයි මිනිස් ලෝකයට අපි ආවේ. ඒවා තමයි සිහිය, වීරිය,
නුවණින් විමසීම, ඒ වගේ ම කරුණාව, මෛත්‍රී, ලෝභ නැතිකම, ද්වේෂනැතිකම, මෝහ නැතිකම
මේවා උපදවා ගන්න පුලුවන්කමක් අපේ අභ්‍යන්තරයේ තියෙනවා. නමුත් අපි එහෙම තියෙන බව
දන්නේ නෑ.
දැන් දුස්සීල කෙනෙක් සිල්වත් වෙනකම්ම දන්නේ නෑ, එයාට සීලය දියුණු කරන්න පුලුවන්
බව. සිත විසිරෙන කෙනෙක් වීරය කරලා සමාධියක් ඇති කරගන්නා තුරු දන්නේ නෑ තමන්ට
සමාධියක් උපදවා ගන්න පුලුවන් බව. නුවණින් විමසීම ඇති කරගන්න තුරු දන්නේ නෑ
නුවණින් විමසන්න පුලුවන් බව.
අපි තුළ තිබෙන නො දන්නාකම නැති කරල, දන්න දකින අයෙක් බවට පත්වන්න පුලුවන්කම
තියෙන්නේ බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය නිස යි. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය
බබළන යුගවල දී, දැන් අනුරාධපුරය යුගය ගත්තොත් අපි අහල තියෙනවා අහස වැහෙන්න
රහතන් වහන්සේලා අහසින් වඩිනවා කියලා. එබඳු යුගයක් තිබුණා. ඒ හිටියෙත් මිනිස්සු.
දැන් ඉන්නෙත් මිනිස්සු. ඒ හිටපු මිනිස්සුන්ට තිබුණු හැකියාවන් දැන් ඉන්න
මිනිසුන්ට ත් තිබෙනවා. නමුත් ඒ හැකියාව මතු කරන්නා වූ ධර්මය ඉදිරියට ආවේ නෑ. ඒ
ධර්මය ඉදිරියට ආවාම අර හැකියාවන් ඉස්මතු වෙනවා. එහෙම නො වුනොත්, සම්පූර්ණයෙන් ම
ඒ හැකියාව නැතිවෙලා යන්නට ඉඩ තිබෙනවා. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය, අපේ
ජීවිතයට සම්බන්ධ නැති, අපේ ජීවිතයට වුවමනා නැති, වැඩක් නැති, කල් පැනපු දෙයක්
හැටියට සළකන්න ගියොත් අපේ ජිවිතයට කිසි ම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ගුණ ධර්ම කිසි
දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
ඒ නිසා පින්වතුනි, අපි ඒ බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳින් ඉගෙන ගනිමු.
දහම් අවබෝධ කිරීමේ හැකියාව, බුදු සමිඳුන් ‍ගේ ධර්මය තුළින් ඉස්මතු කරගනිමු. ඒ
සඳහා ඔබට වාසනාව උදාවේවා.
සාදු! සාදු! සාදු!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ "නුවණැත්තන් හට මෙලොවේ දකින්ට
පුළුවනි සදහම්" දහම් ග්‍රන්ථය ඇසුරිනි.

1 comment:

  1. පිස්සන්ගේ පොත් කව්ද කියවන්නෙ..

    ReplyDelete