Wednesday, October 20, 2010

“ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා”


මෙම ථේර ගාථා සියල්ල උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” නම් උතුම් ථේර ථේරි ගාථා අඩංගු ග්‍රන්ථ රත්නයෙන්…

“තමන්ගේ එක ම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැන ම සෙනෙහෙවන්ත විය යුත්තේ.” මෙය වනාහී, ආයුෂ්මත් සෝපාක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
අම්මේ!මේ ලෝකෙ අඩන්නේ කෙනෙක් මැරුණා ම නේ. එහෙම නැතිනම්, ජීවත් වෙන කෙනෙක් දකින්ට නො ලැඛෙන කොට නේ. එහෙත් අම්මේ, මේ ජීවත් වෙන මං දිහා බලමින් අම්මේ, ඇයි ඔය විදිහට අඩන්නේ? මෙය වනාහී ආයුෂ්මත් සානු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි.
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ.
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත් වුණ වේලිලා ගිය කෙනෙක්. දිය සිඳුන තැනක ඉන්න මාළුවෙක් වගේ.
මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ.
එහෙත් නුවණැති තැනැත්තා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙ. එයා ආශ්රවයන් නැති කරලා දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා.
මෙය ආයුෂ්මත් යසදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවකි.
‘බණ අහන්ට කැමති කෙනා තුළ ධර්ම ඥානය වැඩෙනවා.අන්න ඒ ධර්ම ඥානය තුළින් තමයි එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ.යථාර්ථය අවබෝධ කර ගන්ට ඒ ප්‍රඥාවෙන් පුළුවනි.
යථාර්ථය අවබෝධ කළාමයි සැප ලැබෙන්නේ.දුර ඈත වන සෙණසුන් වලයි ඉන්ට ඕන.
සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්ට හිතා ගෙන ම යි ධර්මයේ හැසිරෙන්ටත් ඕනෙ.
ඉතින් ඈත වනයේ වාසය කරන්ට අකමැති නම් එයා තමන්ගෙ ඉඳුරන් හොඳින් රැක ගෙන, හොඳින් සිහිය පිහිටුවා ගෙන, උතුම් ස්වාමින් වහන්සේ ලා සෙවණෙ වාසය කරන්ට ඕන’.
මේ ගාථා වදාළේ මහා චුන්ද රහතන් වහන්සේ.
1.1.1. “මං ඉන්නෙ සෙවිළි කළ කුටියකයි. ඒ කුටිය හරි සැපයි. සුළඟින් කරදරයක් ද නෑ. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න. මගේ සිතත් හොඳ සමාධියකින් යුක්තයි. කෙලෙස්වලිනුත් මා නිදහස් වුණා. මා වසන්නේ බලවත් වීර්යකින් යුතුවයි. වැහි වළාවෙනි, දැන් ඕනෑ තරමක් වහින්න.” මෙය වනාහී ආයුෂ්මත් සුභූති නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.2. “ඒ භික්ෂුව ගේ ඉඳුරන් ඉතා සන්සුන් ය. සියලු පවිනුත් වැළකී සිටී. කථාබස් කරන්නෙත් ඉතා ම නුවණින් යුතුවයි. උඬඟුකමකුත් නෑ. ඒ භික්ෂුව ලාමක අකුසල් දහම් දුරු කළේ, ගසක කොළයක් සුළඟින් බිම හෙළනව වගෙයි.” මෙය වනාහී ආයුෂ්මත් මහා කොට්ඨිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.3. “තමන් ළඟට පැමිණෙන උදවියගේ සැකසංකා දුරු කර දමන්නේ යමෙක් ද, ඒ තථාගතයන් වහන්සේලා ගේ විස්මිත බුද්ධිය දෙස බලන්න. මැදියම් රැයෙහි බබලන ගින්නක් වගෙයි. ඤාණාලෝකය ලබා දෙයි. දහම් ඇස ලබා දෙයි.” මෙය වනාහී ආයුෂ්මත් කංඛාරේවත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.4. “ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නො පමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්යය යි.” මෙය වනාහී ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.5. “පුරිසදම්මසාරථී වූ මුනිඳාණන් විසින් දමනය කරන ලද්දේ හික්මවීමට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටින්. සැක සංකාවෙන් ද තොරවයි. කෙලෙස් සටනින් එයාට ජය ලැබුණා. බිය තැති ගැනීම් කිසිවක් නැති ඒ ‘දබ්බ’ භික්ෂුව තම සිත නිවනෙහි පිහිටුවාගෙන පිරිනිවී යාවි.” මෙය වනාහී ආයුෂ්මත් දබ්බ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.6. “ඒ භික්ෂුව සීත වනයේ සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදෙකලාවේ ම යි. ඉතාම සතුටින් කල් ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදහගැනීම් කිසිවක් නැති ඒ නුවණැති භික්ෂුව කායගතාසතිය මැනවින් රැකගෙන ඉන්නෙ.” මෙය වනාහී ආයුෂ්මත් සීතවනිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.7. “ඔහු මාර සේනාව බැහැර කෙරුවේ මහා සැඩ පහරකින් ඒ දණ්ඩක් කැඩී බිඳී යන ආකාරයෙන්. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණි. කිසිම බියක් තැතිගැනීමක් දැන් එයා ළඟ නෑ. එයා දමනය වෙලා ඉන්නේ සද්ධර්මය තුළයි. සිත නිවනෙහි පිහිටුවාගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවී යාවි.” මෙය වනාහී ආයුෂ්මත් භල්ලිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවය
1.1.8. “පුරිසදම්මසාරථී වූ සමිඳාණන් විසින් දමනය කොට වදාළේ හික්මාලන්ට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු ඉන්නේ පුදුමාකාර සතුටින්. සැක සංකා ද ඔහු තුළ නෑ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදහගැනීම් වලින් තොරව සිටින ඒ වීර භික්ෂුව සිත නිවනෙහි පිහිටුවා ගෙන සිටින නිසා පිරිනිවී යාවි.” මෙය වනාහී ආයුෂ්මත් වීර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.9. “බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදු වුණේ යහපතක් ම යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මං මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුළ යම් උතුම් අමා නිවනක් වේ නම් මං පත් වුණේ ඒ උතුම් නිවනට යි.” මෙය වනාහී ආයුෂ්මත් පිළින්දිවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.1.10. “ඒ භික්ෂුව සද්ධර්මයේ පරතෙරට ම ගියා. ඔහු ශාන්තයි. දමනය වූ සිතින් යුක්තයි. ඔහු තමා ගැනත් අනුන් ගැනත් තිබුණ හැම ආශාවක් ම දුරු කරගත්තා. කිසිම දෙයක් ගැන ඔහු තුළ ඇලීමක් නෑ. දැන් ඒ භික්ෂුවට උපදින වැනසෙන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනව.” මෙය වනාහී ආයුෂ්මත් පුණ්ණමාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.1. “බුදු සමිඳාණන් වදාළ ශ්රී සද්ධර්මය ගැන ඒ භික්ෂුව තුළ පුදුමාකාර ප්රමුදිතභාවයක් තියෙනව. පින් පව් ආදී සංස්කාරයන් සංසිඳී ගිය සැපය වූ ඒ අමා නිවන අවබෝධ කරගන්ට ඔහුටත් පුළුවන් වුණා.” මෙය වනාහී ආයුෂ්මත් චූලවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.2. “ඔහු ප්රඥාවෙන් බලවත්. ඒ වගේ ම සිල්වත්. ඉතාම හොඳ සිහියෙන් ඉන්නේ. සමාධිමත් සිතක් ඇතිව නිතර ම ධ්යානයේ සිටින්ට කැමතියි. ආහාර වළඳන්නෙත් තේරුම දැනගෙන ම යි. ඒ වීතරාගී භික්ෂුව කල්බලමින් ඉන්නේ පිරිනිවන් පෑමට යි.” මෙය වනාහී ආයුෂ්මත් මහාවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.3. “මං ඉන්න වනයේ සීතල දිය දහර ආකාසය වගේ නිල්පාට යි. අවට භූමිය හරි ලස්සනයි. රාත්රී කාලයට කණාමැදිරියන්ගෙන් පිරී එළිය වුණු ඒ කඳු වලට මං හරිම කැමතියි.” මෙය වනාහී ආයුෂ්මත් වනවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.4. “මාගේ උපාධ්යායන් වහන්සේ මට මෙහෙම කිව්වා. ‘පින්වත් සීවක, අපි මේ ගම අත්හැර වනාන්තරයට යමු.’ යි (මගේ අදහසත් ඒක ම යි) මගේ ශරීරය මේ ගමේ තිබුණත්, මගේ සිත ගිහින් තිබුණේ වනයට ම යි. ගමේ මං සැතපුණත් සිත ගියේ වනයට ම යි. සැබෑ තත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් ඇති වෙන්නෙ නෑ.” මෙය වනාහී ආයුෂ්මත් චූලවච්ඡ තෙරුන් ගේ ශිෂ්ය සාමණේර රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.5. “(කාම භවයට බැඳී තිබෙන සංයෝජන) පහ නැති කර දැමිය යුතුයි. (රූප අරූප භවයන්ට බැඳී තිබෙන සංයෝජන) පහත් බැහැර කළ යුතුයි. (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්රියන්) පහ දියුණු කර ගත යුතුයි. (රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි යන) සංග පහ ඉක්මවා ගිය භික්ෂුවට කියන්නේ ‘සැඩ පහරින් එතෙර වූ තැනැත්තා’ කියල.” මෙය වනාහී ආයුෂ්මත් කුණ…්ඩධාන නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.6. “ලස්සන අං ඇති ශ්රේෂ්ඨ වෘෂභයෙක් හිටිය. නගුලෙහි බැන්ද විට පවා ඌ ඉතා පහසුවෙන් යනව. එපරිද්දෙන් ම මටත් රෑ දවල් ගෙවී යන්නේ ඉතා පහසුවෙනි. ඒ වගේ පහසුවක් මට තිබෙන්නේ මේ නිරාමිස සැපය ලබා ගත් නිසා.” මෙය වනාහී ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.7. “අඥාන කෙනා නිදිමතින් පීඩා විඳ විඳ බඩ ම පුරවා ගැනීමට යි බොහෝ ආහාර අරගන්නේ. ඊට පස්සේ කරන්නේ ඒ මේ අතට පෙරළි පෙරළි නිදා ගැනීම යි. ඌරු බත් කාල තර වුණ ඌරෙකු ගේ ජීවිතයක් වගෙයි. ඔහුට සිදුවන්නේ ආයෙමත් මව්කුසට රිංගන්නට යි.” මෙය වනාහී ආයුෂ්මත් දාසක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.8. “භේසකලාවනයේ ඉන්නේ බුදු සමිඳුන් ගේ දායාදය ලබාගත් භික්ෂුවක්. ඇටසැකිල්ල ගැන භාවනා කරල මේ මුළු පොළොව ම ඒ භාවනා අරමුණින් වසාලන්ට ඔහුට පුළුවන් වුණා. මා හිතන්නේ නම් ඔහු ඉතා ඉක්මනින් කාමරාගය නැති කරන දමන බවයි.” මෙය වනාහී ආයුෂ්මත් සිඟාලපිතු නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.9. “වතුර ගෙන යන උදවියට තමන් කැමති පරිදි වතුර ගෙන යන්ට පුළුවන්. හී වඩුවන්ටත් පුළුවනි කැමති පරිද්දෙන් ඊ තල නමා ගන්නට. තමාගේ කැමැත්ත පරිදි ලී දඬු නමා ගන්නට ලී වඩුවන්ටත් පුළුවනි. අන්න ඒ ආකාරයෙන් ම තමන්ව කැමති පරිදි දමනය කරගන්නට සත් පුරුෂයින්ට පුළුවනි.” මෙය වනාහී ආයුෂ්මත් කුණ්ඩල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.2.10. “මට නම් මරණය ගැන කිසිම බියක් නෑ. ජීවත් වීම ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳින් සිහියත්
නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය අත්හැර දමන්නේ.” මෙය වනාහී ආයුෂ්මත් අජිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.1. “සංසාර දුකට මගේ සිතේ දැන් කිසි බියක් නැහැ. අප ගේ ශාස්තෘන් වහන්සේ අමා නිවන් ලබාදෙන්ට
අතිශයින් ම දක්ෂයි. සසර දුක් නැති තැන වන ඒ අමා නිවන වෙත භික්ෂූන් වහන්සේලා ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.” මෙය වනාහී ආයුෂ්මත් නිග්රෝධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.2. “කාරංචි වනයේ ඉන්න මේ මොණරුන්ට තිබෙන්නේ නිල් පාට ලස්සන බෙල්ලකි. උන් එක රංචුවටයි නාද කරන්නේ. මේ හමන සීතල සුළඟට උන් සතුටු ඇති. ඒ නිසයි ඒ හඬ මේ තරම් මිහිරි. නිදාගෙන සිටින උදවියවත්ධ්යාන වඩන උදවියවත් ප්රබෝධවත් කරන්ට ඒ හඬට පුළුවනි.” මෙය වනාහී ආයුෂ්මත් චින්තක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.3. “බුදු සමිඳාණන් ගේ අවවාදය මා පිළිගත්තේ ඉතා ගෞරවයෙන්. එදා දානයට මං වැළඳුවේ මී පැණි මිශ්ර කිරි බතක්. ඊට පස්සේ උණ පඳුරක් සෙවණේ හිඳගත් මං භාවනා කරන්ට පටන් ගත්තා. පංච උපාදානස්කන්ධයන් මුල් කොට මේ දුක හට ගන්නා හැටිත්, ඒ දුක නැතිවන හැටිත් නුවණින් විමස විමසා බැලුවා. මා ගොඩාක් කැමති විවේකට ම යි. එනිසා මං ආයෙමත් සානු වනයට ම… යනවා.” මෙය වනාහී ආයුෂ්මත් ගෝසාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.4. “මං පැවිදි බව ලබා ගෙන තවම අවුරුද්දයි. මේ සද්ධර්මයේ ආශ්චර්ය බලන්න. මටත් පුළුවන් වුණා ත්රිවිද්යාව ලබා ගන්න. මා මේ සම්පූර්ණ කරගත්තේ බුද්ධ ශාසනය යි.” මෙය වනාහී ආයුෂ්මත් සුගන්ධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
සටහන: ත්රිවිද්යාව යනු කුමක්ද? මේ වනාහී විශේෂ අවබෝධ ඤාණ තුනකි. බොහෝ රහතන් වහන්සේලා ලබාගත්තේ ත්රිවිද්යාවයි.
(1) මෙහි පළමු විද්යාව නම් පුබ්බේ නිවාසානුස්සති ඤාණයයි. එනම් තමන් ගෙවූ සංසාරය ගැන ආපස්සට සිහි කොට ලබා ගන්නා අවබෝධයයි.
(2) දෙවෙනි විද්යාව නම් චුතූපපාත ඤාණයයි. එනම් අනෙක් සත්වයන් කර්මානුරූපව චුතවන ආකාරයත්, උපදින ආකාරයත් ගැන ඇති අවබෝධයයි.
(3) තුන්වෙනි විද්යාව
නම් ආසවක්ඛය ඤාණයයි. එනම් කාමාශ්රව, භවාශ්රව, අවිජ්ජාශ්රව යන ආශ්රවයන් ප්රහාණය කොට අරහත්වයට පත්වීමයි.
1.3.5. “මේ භික්ෂුව ඉන්නේ ප්රඥාවෙන් ආලෝකවත් වූ සිතින්. අරහත්වය නම් වූ අග්රඵලයට පැමිණි සිතින්. ඒයි මාරය, ඔබ ඔය හදන්නේ එවැනි භික්ෂුවකට හිරිහැර කොට දුකට පත් වෙන්නට ද?” මෙය වනාහී ආයුෂ්මත් නන්දිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
අපගේ ගුරැදේවොත්තම අතිපූජ්ය ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත පොතකින් උපුටාගන්නා ලදී
1.3.6. “සූරිය වංශයේ උපන් බුදු සමිඳාණන් සුන්දර ලෙස වදාරණ ලද දහම් පද යි මා අසාගත්තේ. මටත් ඒ සියුම් වූ චතුරාර්ය සත්යය ධර්මය අවබෝධකර ගන්ට පුළුවන් වුණා. ඒක හරියට ම දක්ෂ දුනුවායෙක් ඉලක්කයට ම ඊයෙන් විදින්නාක් වැනි වැඩක්.” මෙය වනාහී ආයුෂ්මත් උභය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.7. “ඊ තණ, කුස තණ, වැලුක්, සැවැන්දරා, මුදු තණ, බබුස් තණ වලින් මට වැඩක් නෑ. මා ඒවා වීසි කරල දානව. මං විවේකය ම සොයා ගෙන යනවා.” මෙය වනාහී ආයුෂ්මත් ලෝමසකංගිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.8. “ඔබ සිවුරුවලට රෙදි සොය සොයා කල් ගෙවන්නෙ නෑ නේද? ඇඟපත සරසන්ට කැමති කෙනෙක් නොවේ නේද? ඔබෙන් ඔය හමන්නේ සිල් සුවඳ නේ. අනෙක් උදවිය ගෙන් නම් එවැනි සුවඳක් හමන්නේ නෑ.” මෙය වනාහී ආයුෂ්මත් ජම්බුගාමිකපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.9. “පින්වත් හාරිත, ඔය සිත කම්මැලිකමින් ගොඩගන්න. හී වඩුවෙක් ඊයක ඇද හැර කෙළින් කරන විදිහට ඔබත් ඔය සිත ඍජු කරගන්න. ඔබටත් පුළුවනි අවිද්යාව නැති කර දමන්න.” මෙය වනාහී ආයුෂ්මත් හාරිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.3.10. “මට ලෙඩ වුණ ගමන් සිහිනුවණ ඉපදුණා. ‘මං දැන් ලෙඩ වෙලා ඉන්නෙ. දැන් ඉතින් පමා නො වී මේ ධර්මයේ හැසිරෙන්ට යි කාලය උදා වුණේ’.” මෙය වනාහී ආයුෂ්මත් උත්තිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.4.1. “අරණ්යයේ මහා වන මැදයි ඒ භික්ෂුව ඉන්නේ. මැසි මදුරුවන් ලේ උරා බොන කොට ඔහු ඉතා හොඳ සිහියෙන් ඉවසාගෙන ඉන්නවා. යුද්ධ භූමියට පැමිණුන ඇත් රජෙක් වගේ.” මෙය වනාහී ආයුෂ්මත් ගබ්භරතීරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.4.2. “මං නම් මේ දිරායන ජීවිතෙන් නිදහස් වෙලා නො දිරන නිවන කරා ම යනවා. තැවි තැවී ඉන්න ජීවිතෙන් නිදහස් වෙලා නිවීම කරා ම යනවා. පරම ශාන්තිය වූ අනුත්තර වූ ඒ අමා නිවන ම සොයා ගෙන යනවා.” මෙය වනාහී ආයුෂ්මත් සුප්පිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.4.3. “තමන්ගේ එක ම දරුවාට සෙනෙහෙවන්ත වෙන පරිද්දෙන් ම යි සියලු සත්වයන් ගැන ම සෙනෙහෙවන්ත විය යුත්තේ.” මෙය වනාහී ආයුෂ්මත් සෝපාක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.4.4. “සද්ධර්මය දන්නා භික්ෂුව උතුම් ලෙස සලකන්නේ කාන්තාවන් ගෙන් ඈත් වී සිටීම ම යි. මං එදා අරණ්යයෙන් ගමට ඇවිත් ගෙදරට ගියා. නමුත් යහනෙන් නැගිට මං පිටත් වෙලා ගියේ කිසිම දෙයක් නො කියා ම යි. මගේ නම ‘පෝසිය’.” මෙය වනාහී ආයුෂ්මත් පෝසියෝ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.4.5. “ඔහු වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ඒ මග තමා අමා නිවනට පමුණුවන ඍජු මාවත. සැප කැමති ව පිළිවෙත් පුරද්දී ලැබෙන්නේ සැප ම යි. ඔහුගේ කීර්තියත් පැතිරෙන්ට පටන් ගන්නවා. යසසත් වැඩෙනවා.” මෙය වනාහී ආයුෂ්මත් සාමඤ්ඤකානි නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.
1.4.6. “බණ ඇසීම කොයි තරම් හොඳ ද. අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැම තිස්සේ ම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරි ම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේ ම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම මොන තරම් හොඳ දෙයක් ද. අන්න එයාට තමා කෙලෙස් නැති පුද්ගලයාගේ ‘මහණකම’ කියලා කියන්නෙ.” මෙය වනාහී ආයුෂ්මත් කුමාපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.


Source: rightmindfulness.wordpress.com


අනුග්‍රහය: http://goo.gl/4FI1

No comments:

Post a Comment